Monday 25th of May 2026

English Tamil
Advertiesment


නීතිය අංග විකල කිරීම


2023-09-21 14903

 

(වික්ටර් අයිවන්)


රටක යල් පැන ගිය ක්‍රමයක් ඇතිවිට ඒ ක්‍රමයේ ගැඹුරු වෙනසක් සඳහා හැම විටම බලපාන්නේ අභ්‍යන්තර සාධක පමණක් නොවේ; බාහිර සාධක ද බලපායි. ජපානය ප්‍රජාතන්ත්‍රවාදී කිරීමට හේතුවූ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සැලකිව යුත්තේ අභ්‍යන්තරීකව ඒ රටේ ජනතාව විසින් ඇති කර ගන්නා ලද්දක් ලෙස නොව 1947 දී මිත්‍ර හමුදාවේ ජෙනරල් මැක් ආතර් විසින් සකස් කර දෙන ලදුව එහි ප්‍රතිඵලයක් වශයෙන් 1890 වේදී ඇති කරගෙන තිබූ මිජි(Meiji) ව්‍යවස්ථාවට එකතු කරනු ලැබු සංශෝධනයක් නිසා ඇතිවූ ව්‍යවස්ථාවක් ලෙසය.

මේ වන විට එම ව්‍යවස්ථාවට අවුරුදු 76 ක් තරම් කාලයක් ගතවී ඇතත් අද දක්වාම ඊට එකදු ව්‍යවස්ථා සංශෝධනයක් වත් ඉදිරි පත් වී නැත. දකුණු අප්‍රිකාවේ 1994 ඇතිවූ විපර්‍යාසය කෙරෙහි ද බාහිර බලපෑම් තීරණාත්මක ලෙස බල පෑවේය. ලංකාවේ  13 වැනි සංශෝධනය ද ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම නිසා ඇතිවූ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. අසල්වැසි ඉන්දියාව මෙන් තමන්ගේම වන දියුණු ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට තරම් ප්‍රබුද්ධ තත්වයක ලංකාව නොතිබුන තත්වක් තුළ 1972 දී මුළුමනින් නව ව්‍යවස්ථාවක් ඇති කරගන්නා තැනකට යනවා වෙනුවට සොල්බරි ව්‍යවස්ථාවට ඇතුළත්ව තිබූ එංගලන්ත කිරීටයට තිබෙන බැඳීම ඉවත් කරන අතර එම ව්‍යවස්ථාවේ නොතිබුණු අංගයක් ලෙස සැලකිය හැකි මානව හිමිකම් පරිච්ඡේදයක් ඇතුලත් කොට සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණ අන් සියළු දේ ඒ ආකාරයටම  තිබෙන ව්‍යවස්ථාවක් ඇති කර ගනිමින් එම ව්‍යවස්ථාව සමග වැඩ කිරීමට ලංකාව සමත් වී නම් ලංකාවේ රාජ්‍යය මහා බිදවැටීමකට, අසමත්භාවයකට හා බංකොලොත් භාවයකට ඇද නොවැටෙන්නට ඉඩ තිබුණි.

එසේම එවැනි ව්‍යවස්ථාවක් නොතිබියදී වුවද 1980 ජුනී මාසයේදී ලංකාව අත්සන්කල සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ද, 1997 ඔක්තෝබර් මාසයේදී අත්සන්කල එම ගිවිසුමට අදාල පෙරාතු ගිවිසුම (ප්‍රොටෝකෝලය) ද, ආරක්ෂා කර ගනිමින් එම නෛතික පදනම පවත්වාගෙන යාමට ලංකාව සමත් වී නම් එම තත්වයන් යටතේද ලංකා රාජ්‍යය මහා බිඳ වැටීමකට, අසමත්භාවයකට හා බංකොලොත් භාවයකට ඇද නොවැටී ක්‍රමයේ තිබෙන දෝෂ ජයගනිමින් ඉදිරියට යන රටක් බවට පත්වන්නට  ඉඩ තිබුණි. මක්නිසාද යත් එම සම්මුතියේ එන මානව හිමිකම් වලට  හා ආණ්ඩුකරණයට අදාල මූලධර්ම සැලකිය හැක්කේ 78 ව්‍යවස්ථාවේ ඒ සඳහා යොදා තිබුන මූලධර්ම වලට වඩා දියුණු හා උසස් තත්වයක තිබෙන මූලධර්ම ලෙසය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ එන එම මූල ධර්ම ලංකා ව්‍යවස්ථාව නීතියේ කොටසක් බවට පත්වී නම් එය පැවති දූෂිත හා යල්පැනගිය පරණ ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් ඇති කරන පරිවර්තනීය බලයක් ලෙස ක්‍රියා කරන තත්වයක් ඇති කිරීමට හේතුවන්නට ඉඩ තිබුනි. ඒ නිසා පරණ දූෂිත හා යල්පැන ගිය ක්‍රමයේ ගැඹුරු හා යහපත් වෙනසක් ඇති කිරීමට හේතුවන්නටද ඉඩ තිබුනි.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියේ 41 වැනි වගන්තිය අනුව ගිවිසුමට ඇතුළත් රජයක් කරන මානව හිමිකම් උල්ලංගනයන් ගැන එම ගිවිසුමට ඇතුළත් වෙනත් රාජ්‍යකටද එම ගිවිසුම යටතේ පිහිටුවා ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ කමිටුවට පැමිණිලි කළ හැකිය. එසේම සිවිල් හා දේශපාලන ප්‍රඥප්තියට අත්සන් කරනවාට අතිරේකව පෙරාතු ගිවිසුමට අත්සන්කර ඇති රටවල පුරවැසියන්ට ද මානව හිමිකම් උල්ලංගනයන් සිදුවී රටේ ඉහළම අධිකරණයට ගොස් යුක්තිය ඉටු කරගැනීමට අසමත්වූ අවස්ථාවලදී ඒ ගැන මානව හිමිකම් කමිටුවට පැමිණිලි කිරීමේ අයිතිය හිමිය.

මා ඒ සේ ලැබී තිබුන එම අයිතිය ලංකාවෙන් උරගා බැලූ පලමු පුරවැසියා ලෙස සැලකිය හැකිය. ඒ මගින් මට අවශ්‍ය වී තිබුනේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිෂ්ප්‍රභා කර තිබුන මගේ නඩුවකට යුක්තිය ඉටු කරගැනීම පමණක් නොවේ; ලංකාවේ ඉහලම අධිකරණයට ගොස් යුක්තිය ඉටුකරගැනීමට අසමත් වූ අයට යුක්තිය ඉටු කරවා ගැනීම සඳහා යන්න තවත් වැදගත් තැනක් ඇති බව පෙන්වාදීම ද මාගේ එම ක්‍රියාවේ තවත් වැදගත් අරමුණක් විය. මා එම නෛතික අරගලය සිදු කළේ සාපරාධි අපහාස නීතියට එරෙහිවය. ජිනීවාහි මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරන්නට පෙර සාපරාධි අපහාස නීතිය යටතේ ආණ්ඩු දෙකක පාලන කාලය තුළ සිදුකර තිබුන නඩු පැවරීම් පදනම් කොටගෙන මා ශ්‍රේෂ්ඨාධිකරණ යේ නඩු පවරන ලද්දේ නීතිපති වශයෙන් සරත් නන්ද සිල්වා ප්‍රධාන වගඋත්තරකරු කරමිනි. පෙත්සම සලකා බලන ලද්දේ ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු ප්‍රමුඛ ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක්  මඟිනි.

එම පෙත්සම දින දෙකක් තිස්සේ කරුණු සලකා බලා දෙවැනි දින දහවල් වැඩි දුර විභාගයට නොගෙන පෙත්සම නිෂප්‍රභා කළේය. එහිදී මා වෙනුවෙන් පෙනිසිටියේ ඒ කාලයේ නිතිඥයින් අතර සිටි දැවැන්තයෙකු හා ප්‍රතිපත්ති ගරුකයෙකු ලෙස සැලකිය හැකි ආර්. කේ. ඩබ්ලිව් ගුණසේකරය. ඔහු මගෙන් ගාස්තු අය නොකළේය. මගේ සියළු නඩුවල නිතිඥයා වූද මාගේ විස්වාසවන්ත මිතුරාද වූ සුරංජිත් හේවමාන්න කළ යෝජනාවක් අනුව මා වෙනුවෙන් නොමිලේ පෙනීසිටි ආර්. කේ. ඩබ්ලිව්. ගුණසේකර නීතිවේදියාට රුපියල් 5000 කට මිලදි ගත් ජොනි වෝකර් රෙඩ්ලේබල් විස්කි බෝතලක් තෑගි දුන්නෙමි. එහි වියදම ඔහු වැනි නීතිඥයෙකුට ගෙවිය යුතු ගාස්තුවෙන්  විස්සෙන් එකක් පමණ වීයැයි කිවහැකිය. ආචාර්‍ය මාක් ප්‍රනාන්දු විනිසුරුවරයා නිෂප්‍රභා කරන ලද එම පෙත්සමට අදාලව දීර්ග නඩු තීන්දුවක් ලබා දෙන ලද අතර ( Victor Ivan v Sarath N. Silva, Attorney General and Another, Sri  lR -Part 11-15, 1988 p:440-350) මම ජීනිවා මානව හිමිකම් කමිටුවට පැමිණිලි කළේ එම තින්දුවට එරෙහිවය. එම පැමිණිල්ල අපට ජයගත හැකිබව අපේ විස්වාසය වු අතර එය එසේම සිදුවිය. ( Victor Ivan v Sri lanka: U.N.Doc.ICCPR 2004.) එම ජයග්‍රහයේ ගෞරවයේ වැඩි පංගුවක් නීතිඥ සුරංජිත් හේවාමාන්න ට හිමි විය යුතුය. ගාස්තු අයකිරීමකින් තොරව ඔහු එම නඩුව වෙනුවෙන් මහත් ඇප කැපවීමකින් වැඩ කළේය.

විශ්‍රාම ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. එම්. එම්. බී. කුලතුංග ඒ සඳහා ගෞරවය ලැබිය යුතු අනෙක් පුද්ගලයා ලෙස සැලකිය හැකිය. මානව හිමිකම් කමිටුවට යවන ලද ලිඛිත කරුණු දැක්වීම් ජාත්‍යන්තර නීතියට අනුකූලව කෙටුම් පත් කරන ලද්දේද එම නඩුවේදී ලංකා ආණ්ඩුව කරන ලද ලිඛිත සැලකිරීම් වලට පිළිතුරු ලියන ලද්දේද ඔහු විසිනි. ඉතා වැදගත් දේ වනුයේ මානව හිමිකම් කමිටුවේ එම තින්දුව ගැන ලංකාව බිහිකල ශ්‍රේෂ්ඨ ගණයෙහි ලා සැලකිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සැලකිය හැකි මාර්ක් ප්‍රනාන්දුද තමන්ගේ තීන්දුවට එරෙහිව දෙන ලද එම තීන්දුව ගැන විග්‍රගයක් ලියා පලකිරීමය. ( Mark Fernando: Victor v Sri lanka- Decision: Its Impact on Human Rights.Sri Lanka Journal of International law .volume 16, 2004. 289-299) මාර්ක් ප්‍රනාන්දු විනිසුරුවරයා එම විග්‍රහයෙන් මානව හිමිකම් කොමිෂමේ විශේෂඥ කමිටුව දී තිබුණ තීන්දුව පිළිගෙන තිබෙනවා පමණක් නොව ඒ  නිසා අනාගත ලංකාවේ ඇති විය හැකි වෙනස් කම් ගැනද එහි ඉඟි කරයි.

මා අපේක්ෂා කළ අකාරයටම ඉක්මනින් ලංකාවේ ඉහලම අධිකරණයට ගොස් යුක්තිය ඉටු කර ගැනීමට අසමත්වූ පුද්ගලයින් ගණනාවක්ද සහන පතාගෙන ජිනිවා මානව හිමිකම් කමිටුව වෙත පැමිණිලි කොට යහපත් ප්‍රතිඵල ලබාගැනීමට සමත් වූහ. මා දන්නා පරිදි ලංකාවට එරෙහිව ලබා දී තිබූ තීරණයන් වැඩි හරියක් ලබා දී තිබුනේ අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ නීති විරෝධී හා අගතිගාමි නඩු තීන්දු හෝ ක්‍රියාවන්ට එරෙහිවය. සරත් සිල්වාගේ පාලන කාලය තුළ අධිකරණය පැවතියේ මානව හිමිකම් ආරක්ෂාකරන ආයතනයක් ලෙස නොව මානව හිමිකම් උල්ලංගනය කරන ආයතනයක්   වශයෙනි. ටෝනි එම්මෑනුවෙල් ප්‍රනාන්දුගේ නඩුව මානව හිමිකම් කමිටුවට ගිය ඒ කාලයේ අධිකරණයේ පැවති අවලස්සන හා බිහිසුණු ස්වරූපය මුර්තිමත් කල වැදගත් සිද්ධියක් විය. ටෝනි අග විනිසුරු සරත් නන්ද සිල්වා වග උත්‍තකරුවෙකු කරමින් පවරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් අග විනිසුරු තමාද ඇතුලත් ත්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගෙන උසාවියට අපහාස කලේය යන පදනම මත පැමිණිලිකරුට එක් අවුරුදු සිර දඬුවමක් ලබා දුන්නේය. ඔහු හිරගෙදරට ඇතුලත් කර ගැනීමට පෙර ඉතාමත්  බිහිසුණු හා අමානුෂික පහරදීමකට ලක්වූ අතර එම පහරදීමටද අගවිනිසුරුගේ සම්බන්ධයක් තිබුනි.

එම අසාධාරණ නඩු තින්දුව හෝ ඒ සමඟ බන්ධනාගාරයට ඇතුළු කරගැනිමේදී ඔහුට එල්ලවු බිහිසුණු පහරදීම පාර්ලිමේන්තුවේ හෝ එය නියෝජනය කරන පක්ෂවල හෝ නීතිඥ සංමයේ බලවත් අවධානයට යොමුවූ වැදගත් ප්‍රශ්නයක් වුයේ නැතත් එක්සත් ජාතින්ගේ සංවිධානයේ සිටි අධිකරණ හා නීතිඥ විෂය භාර ලොකුම නිලධාරියා වූ ඩාටෝ පරම් කුමාරස්වාමි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටෝනි බලන්නම ලංකාවට ආවේය. ඔහු ලංකාවෙන් යන්නට පෙර මාධ්‍ය සාකච්චාවකට සහභාගි වෙමින් මානව හිමිකම් උල්ලංගනය කරන අග විනුසුරුට එරෙහිව නැගී සිටින ලෙස ලංකාවේ නීතිඥ ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය. මානව හිමිකම් කමිටුව ඉදිරියට ගොස් ජයගත් එස්. බී. දිසනායකගේ නඩුව ද අගවිනිසුරුට අදාල නඩුවක් විය. සේවයෙන් පහ කල දිසා විනිසුරුවරයෙකු වු පාලිත බණ්ඩාරනායකගේ නඩුවද අග විනිසුරු සරත් සිල්වාට අදාල නඩුවක් විය. ඔහු අසාධාරණ ලෙස අධිකරණ සේවයෙන් ඉවත් කර තිබුනේ අගවිනිසුරු සරත් සිල්වාය. මට නම මතක නැති මහජන බැංකුවේ සේවකයෙක් ද අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුළත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ඇසුන නඩුවට ලබා දී තිබූ තීන්දුවකට එරෙහිව මානව හිමිකම් කමිටුවට පැමිණිලි කොට එම නඩුව ජය ගෙන තිබුණි.

සිංහරාසා සම්බන්ධයෙන් මානව හිමිකම් කමිටුව ලබාදී තිබූ තීරණයන් බලාත්මක කරවා ගැනීම සදහා ඉදිරිපත් වූ සමාලෝචන පෙත්සමක් පාදක කරගනිමින් අගවිනිසුරු සරත් නන්ද සිල්වා තමාද ඇතුළත් තමා විසින්ම පත්කල හා තමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පස් පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සිංහරාසාගේ එම සමාලෝචන පෙත්සම විභාගයට ගෙන තමාට හිසරදයක් වී තිබුන පුරවැසියන්ට මානව හිමිකම් කමිටුවට පැමිණිලි කරන්නට ලැබී තිබුණ අයිතියද එවැනි පැමිණිළි මත ලබා දෙන තීරණයන් ලංකාවේ ක්‍රියාත්මක කිරීම ද ව්‍යවස්ථා විරෝධි බවට තීන්දු කළේය. නැතහොත් පළමුවන පෙරාතුව ගිවිසුම විවස්තාවට පටහැනි ගිවිසුමක් බවට තීන්දු කළේය. SC.spl.( LA)182/99; SCM 15.09.06) මෙම නඩු තීන්දුව අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ පාලන කාලයේදී නඩු තීන්දු විෂයෙහි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිදුවී තිබෙන බරපතල වංචාවක් ලෙස සැළකිය හැකිය. මානව හිමිකම් කමිටුව ලබා දී තිබූ නඩු තීන්දු සියල්ලම හෝ ඉන් වැඩි හරියක් අගවිනිසුරු අතින් සිදුවී තිබුන මානව හිමිකම් උල්ලංගනයන් හා ඔහුට තිබුන නිල බලය වැරදි ලෙස යොදා ගත් ක්‍රියාවන්ට එරෙහිව ඉදිරි පත්වූ පැමිණිලි මත පදනම් වූ නඩු ලෙස සැළකිය හැකිය.

තමන්ගේ නඩුවක් තමන්ට ඇසිය නොහැකිය. ඒ බව අපරාධ නඩු විධාන පනතේ (1978) 49( 3) වගන්තියේ පැහැදිලිව සදහන් වේ. එවැනි ක්‍රියාවක් ස්වාභාවික යුක්තියේ මූලධර්ම වලටද පටහැනිය. ඉන්පසු 2008 මාර්තු මාසයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129(1) අනුව සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ගැන හා එයට ඇතුලත් අයිතිවාසිකම් ජනතාවට ලැබෙන තත්වයක් පවති ද යන ප්‍රශ්නය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදේශාත්මක මතය ඉල්ලා සිටියේය. ඒ මතය ලබා දෙන ලද්දේද අගවිනිසුරු සරත් නන්ද සිල්වා ඇතුලත් පස් පුද්ගල විනිසුරු මණ්ඩලයක් මගිනි. (SC 01/2008) උපදේශක මතය විමසීම ද අග විනිසුරුගේ බලපෑම මත සිදුවූ සට කපට දෙයක් ලෙස සැලකිය හැකිය.එම උපදේශක  මතය මගින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තියට ලංකාව කෙරෙහි කල හැකි බලපෑම අවම කලේ යැයි කිව හැකිය.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය රාජ්‍ය පාලනය හා මිනිසුන්ට තිබිය යුතු අයිතිවාසිකම් විෂයෙහි ජාත්‍යන්තර නීතිය අනුව බල ගැන්වුන ඕනෑම යල්පැනගිය දූෂිත සමාජ- දේශපාලන ක්‍රමක් යහපත් කිරීමට බලපාන හා ඒ සඳහා යොදාගත හැකි පරිවර්තනීය බලයක් ඇති මූලධර්ම ඇතුලත් ඉතා අගනා ප්‍රඥප්තියක් ලෙස සැලකිය හැකිය. නිසැක වශයෙන්ම එයට ඇතුලත් මූලධර්ම අපේ 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුලත් මුලධර්ම වලට වඩා නවීන හා උසස්‍ ය.ඒවා සකස් කර තිබෙනුයේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය බල ගැන්වෙන ආකාරයට ය. ලංකාව් සඳහා එම ගිවිසුම අක්‍රීය හෝ බල රහිත කිරීමෙන් රටේ ජනතාවට සිදුකර තිබෙන හානියේ තරම අති විශාලය. පුදුමය ඒ ගැන පාර්මේන්තුව, දේශපාලන පක්ෂ, නීතිඥ සංගමය, විද්වත් සංගමය වැනි ආයතන ඒ මගින් සිදුකර ඇති ලංකාවේ ජනතාවගේ ගේ පරමාධිපත්‍ය බලය උදුරාගැනීම හෝ එම බලය බෙලහීන කිරීම ඉදිරියේ ඒ ගැන නිහඬ පිලිවෙතක් අනුගමනය කිරීමය. ඔවුන්ට එය නොපෙනුනේද? එය තේරුම් ගැනීමට අසමත් විද? ඒ මගින් රටේ  ජනතාවට බරපතල වරදක් සිදුවී ඇති බව හා ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ විශ්වාස කළ නොහැකි අවලස්සන රටක තත්වයකට ලංකාව පත්ව තිබෙන බව ඒ සියළු දෙනාට නොපෙනේද? ඒ බරපතල වරද නිවැරදි කරන්නේ කවදා ද? කෙසේද?

 

 

Advertiesment